රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) අතර විශේෂ දුරකථන සාකච්ඡාවක් අද (07) අලුයම පැවැත්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ උත්තරීතර නායකයා ඇතුළු රජයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් මියයාම සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා මෙහිදී සිය බලවත් ශෝකය ප්‍රකාශ කර තිබේ.
මෙම සාකච්ඡාවේදී රුසියාවේ ස්ථාවරය යළිත් අවධාරණය කළ ජනාධිපති පුටින්, වත්මන් ගැටුම් වහාම නතර කර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් විසඳුම් සෙවිය යුතු බව පවසා ඇත. රුසියාව සැමවිටම එවැනි සාමකාමී මැදිහත්වීමකට සහය දෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ. රුසියාව දක්වන මෙම සහයෝගය පිළිබඳව ඉරාන ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කර ඇති අතර, ඉරානය මේ වන විට මුහුණ දී සිටින බරපතළ තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ද රුසියානු නායකයා වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
ගෝලීය බලවතුන් දෙදෙනෙකු අතර සිදුවූ මෙම සාකච්ඡාව මැදපෙරදිග යුද්ධයේ ඉදිරි ගමන තීරණය කිරීමට තීරණාත්මක බලපෑමක් කරනු ඇති බව ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














