නේපාලයේ පැවැති තීරණාත්මක මහ මැතිවරණයෙන් හිටපු රැප් ගායකයෙකු සහ ඉංජිනේරුවරයෙකු වන 35 හැවිරිදි බලේන්ද්‍ර ෂා (Balendra Shah) ප්‍රමුඛ ‘රාෂ්ට්‍රිය ස්වාතන්ත්‍ර පක්ෂය’ (RSP) විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මීට මාස හයකට පෙර නේපාලයේ තරුණ පරපුර (Gen Z) විසින් මෙහෙයවන ලද ප්‍රචණ්ඩ විරෝධතාවලින් පසුව පැවැති මෙම පළමු මහ මැතිවරණයේදී, එරට වසර ගණනාවක් පැවැති ප්‍රධාන දේශපාලන පක්ෂවල ආධිපත්‍යය බිඳ දැමීමට ඔහු සමත්ව තිබේ.
මැතිවරණ කොමිෂන් සභාවේ දත්තවලට අනුව, ආසන 165න් 161ක ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර ඉන් ආසන 110කට අධික සංඛ්‍යාවක පෙරමුණ ගැනීමට බලේන්ද්‍ර ෂාගේ පක්ෂය සමත්ව ඇත. මීට පෙර කත්මණ්ඩු නුවර නගරාධිපතිවරයා ලෙස කටයුතු කළ ‘බේලන්’ ලෙස ජනප්‍රිය ඔහු, සිව්වතාවක් නේපාලයේ අගමැති ධුරය හෙබවූ කේ.පී. ෂර්මා ඕලි (K.P. Sharma Oli) පරදා ජාපා-5 (Jhapa-5) කොට්ඨාසයෙන් වැඩි ඡන්ද 10,000කට වඩා ලබා ගනිමින් පෙරමුණේ පසුවේ.
පසුගිය වසර 18 තුළ රජයන් 14ක් වෙනස් වූ නේපාලයේ දේශපාලන අස්ථාවරත්වයට එරෙහිව ජනතාව සිය මතය ප්‍රකාශ කර ඇති බව මෙම ප්‍රතිඵලවලින් පැහැදිලි වේ. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වන ඉන්දීය විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, නේපාලයේ ස්ථාපිත වන නව රජය සමඟ සමීපව කටයුතු කිරීමට තමන් සූදානම් බවයි. නේපාලයේ සාමය සහ ප්‍රගතිය වෙනුවෙන් ඉන්දියාව සැමවිටම සහයෝගය දක්වන බව ද එහි ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














