ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය, 2026 වසර සඳහා සිය ආර්ථික වර්ධන ඉලක්කය 5% ක් ලෙස ඊයේ (05) නිල වශයෙන් නිවේදනය කළේය. මෙය 1990 දශකයේ මුල් භාගයේ සිට බීජිං පාලනය විසින් නිල ආර්ථික දත්ත ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ දා සිට වාර්තා වූ අඩුම වර්ධන ප්‍රක්ෂේපණය වීම විශේෂත්වයකි.
පසුගිය 2023 සිට 2025 දක්වා වසර තුනක කාලය තුළ ද චීනය “5% ක පමණ” වර්ධනයක් ඉලක්ක කළ අතර, කොවිඩ්-19 වසංගතයෙන් පසු ඇති වූ මන්දගාමී ප්‍රකෘතිමත් වීම සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද දැඩි වෙළඳ තීරුබදු හමුවේ පවා එම ඉලක්ක සපුරා ගැනීමට ඔවුන් සමත් විය. කෙසේ වෙතත්, වත්මන් ගෝලීය දේශපාලන අවිනිශ්චිතතාවය සහ චීනය තුළ පවතින දුර්වල දේශීය පරිභෝජනය හේතුවෙන් මෙවර වඩාත් මධ්‍යස්ථ ඉලක්කයක් කරා යාමට ඔවුන් තීරණය කර තිබේ.
ආර්ථික විචාරකයින් පෙන්වා දෙන්නේ ඉලක්කගත වර්ධන වේගය පහළ දැමීම හරහා චීනය සිය ආර්ථිකයේ පවතින ව්‍යුහාත්මක ගැටලු හඳුනාගෙන ඇති බවත්, හුදෙක් වේගවත් වර්ධනයකට වඩා ස්ථාවරත්වයක් පවත්වා ගැනීමට උත්සාහ කරන බවත්ය.














