මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය මධ්‍යයේ වුවද, පසුගිය 05 වැනිදා දිනය තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ ඩුබායි අතර ගුවන් යානා 12ක මෙහෙයුම් සාර්ථකව සිදු කර තිබේ. ඒ අනුව ඩුබායි සිට ගුවන් යානා 06ක් මෙරටට පැමිණ ඇති අතර, තවත් ගුවන් යානා 06ක් කටුනායකින් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. ශ්‍රී ලන්කන්, එමිරේට්ස්, ෆිට්ස් එයාර් සහ ෆ්ලයි ඩුබායි යන ගුවන් සේවා මෙම මෙහෙයුම් සඳහා එක්ව තිබේ.
අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙරට රැඳී සිටි ඉතාලි ජාතිකයන් 110 දෙනෙකු රැගෙන යාම සඳහා රෝමයේ සිට නියෝස් ගුවන් සේවයේ (Neos Air) විශේෂ ගුවන් යානයක් 05 වැනිදා උදෑසන කටුනායකට පැමිණි අතර, එම පිරිස රැගත් යානය මාලදිවයින ඔස්සේ යළි පිටත්ව ගොස් ඇත. මීට අමතරව, ගුවන් ගමන් අවලංගු වීම නිසා අපහසුතාවට පත් මගීන් වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය හෙට (08) දින කොළඹ සහ ලන්ඩන් අතර විශේෂ අතිරේක ගුවන් වාරයක් (UL-1205/1206) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ අතර එමිරේට්ස් ගුවන් සේවය දැනුම් දෙන්නේ කලාපීය ගුවන් සීමාවන් අර්ධ වශයෙන් විවෘත කිරීමත් සමඟ සීමිත ගුවන් ගමන් කාලසටහනක් යටතේ සිය මෙහෙයුම් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරන බවයි. මගීන්ට සිය ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු ගුවන් සමාගම්වල නිල වෙබ් අඩවි හෝ දුරකථන අංක ඔස්සේ ලබාගත හැකිය.














