ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (06) නව දිල්ලියේදී පැවැත්වුණා. ‘රයිසිනා සංවාදය 2026’ (Raisina Dialogue 2026) රාජ්‍යතාන්ත්‍රික සමුළුවට සමගාමීව පැවැති මෙම හමුවේදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ගැඹුරු කර ගැනීම සහ කලාපීය ආරක්ෂක තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වී තිබෙනවා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් අමාත්‍ය ජයශංකර් මහතා සඳහන් කළේ ඉන්දියාවේ ‘Vision MAHASAGAR’ සහ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ යන ප්‍රතිපත්ති මාලාවන් ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාවයේදී ඉදිරියටත් මූලික මගපෙන්වීම් වනු ඇති බවයි. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය ඉන්දීය සාගර කලාපයට බලපා ඇති ආකාරය සහ එමඟින් පැන නැගී ඇති ආරක්ෂක අභියෝගයන් පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.
අර්බුදකාරී අවස්ථාවලදී දෙරට අතර පවතින සහයෝගීතාවයේ වැදගත්කම මෙම සාකච්ඡාවේදී යළිත් තහවුරු කෙරුණා. මීට අමතරව අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මුණගැසී සුහද සාකච්ඡාවක නිරත වූ බව විදේශ අමාත්‍යාංශ වාර්තා සඳහන් කරනවා.














