තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ. ඉබ්බාගමුව සහ මාකොළ ප්‍රදේශවල පදිංචි 39 සහ 53 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඝාතනයෙන් පසු එක් වෙඩික්කරුවෙකු බස් රථයකින් මොනරාගල ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කිරීමට මෙම සැකකරුවන් සහය වී ඇති බවයි. විශේෂයෙන්ම, දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් ලබාදුන් මුදලින් මිලදී ගත් බස් රථයක් මේ සඳහා යොදාගෙන ඇති අතර, එම බස් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය පෙබරවාරි 13 වනදා සිදුවූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවලදී වෙඩික්කරුවන් දෙදෙනා ද ඇතුළුව සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් සමත් වී ඇත. බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සහ හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














