රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) අතර විශේෂ දුරකථන සංවාදයක් ඊයේ (06) පවත්වා ඇති බව ක්‍රෙම්ලිනය නිල වශයෙන් තහවුරු කර තිබේ. පසුගිය පෙබරවාරි 28 වනදා එල්ල වූ ඇමෙරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) ඇතුළු පිරිසක් මියයාම සම්බන්ධයෙන් පුටින් මෙහිදී සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇත.
මෙම සංවාදයේදී රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළේ කලාපය තුළ පවතින සන්නද්ධ ගැටුම් වහාම නතර කළ යුතු බවත්, බලය භාවිත කිරීමෙන් ගැටලු විසඳීමට උත්සාහ කිරීම අතහැර දමා දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික මාවතකට කඩිනමින් අවතීර්ණ විය යුතු බවත්ය. රුසියාව සැමවිටම ඉරානයේ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටින බව ද ඔහු යළිත් සහතික කළේය.
ඉරාන ජනාධිපති පෙසෙෂ්කියන් රුසියාව ලබා දෙන සහයෝගයට සිය ස්තූතිය පළ කළ අතර, පවතින යුදමය වාතාවරණයේ නවතම තත්ත්වය පිළිබඳව පුටින් දැනුවත් කර තිබේ. දෙරට අතර පවතින උපායමාර්ගික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, විවිධ මාර්ග ඔස්සේ අඛණ්ඩව සම්බන්ධතා පවත්වා ගැනීමටත් මෙහිදී නායකයන් දෙපළ එකඟතාවකට පැමිණ ඇත.














