ජපාන ස්වයං ආරක්ෂක සමුද්‍රීය බලකායට අයත් ‘JMSDF ONAMI’ යුද නෞකාවේ සේවය කළ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් ඔහුව ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (06) කටයුතු කළේය. කොළඹට බටහිර දෙසින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවෙන් ලැබුණු හදිසි ඉල්ලීමකට අනුව මෙම වෛද්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම (MEDEVAC) ක්‍රියාත්මක විය.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ උපදෙස් මත, බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් වෛද්‍ය කණ්ඩායමක් ද සමඟ වහාම අදාළ මුහුදු ප්‍රදේශය වෙත යොමු කෙරිණි. එහිදී රෝගියා නාවික හමුදා භාරයට ගෙන මූලික ප්‍රථමාධාර ලබා දෙමින් කොළඹ වරාය වෙත රැගෙන එන ලද අතර, අනතුරුව ගිලන් රථයක් මඟින් කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීමේ කලාපය තුළ ආපදාවට පත්වන දේශීය මෙන්ම විදේශීය නාවික ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටින බව නාවික හමුදා මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
















