ලෙබනනයේ සිට ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ උතුරු කලාපයට එල්ල කරන මිසයිල ප්‍රහාර ඉහළ ගොස් ඇති බැවින්, එම කලාපයේ සේවය කරන 9,000කට අධික ශ්‍රී ලාංකිකයන්ට දැඩි ආරක්ෂක අවධානයකින් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා දැනුම් දෙයි. විශේෂයෙන්ම හයිෆා, නහරියා, අර්කෝ, ගැලීලි, අෆුලා, නාසරෙත් සහ තිබෙරියා වැනි ප්‍රදේශවල සිටින පිරිස් ලෙබනන් දේශසීමාවෙන් එල්ල වන ප්‍රහාර මෙන්ම රට අභ්‍යන්තරයේ ඇති විය හැකි නොසන්සුන්කාරී තත්ත්වයන් පිළිබඳව ද විමසිලිමත් විය යුතු බව ඔහු පෙන්වා දෙයි.
තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉරානයෙන් එල්ල වන ප්‍රහාරවල අඩුවීමක් දක්නට ලැබුණද, උතුරු දේශසීමාවේ අවදානම තවදුරටත් පවතින බවයි. ඕනෑම හදිසි අනතුරකදී 101 අංකය ඇමතීමෙන් ඊශ්‍රායල ගිලන් රථ සේවාව නොමිලේ ලබාගත හැකි අතර, වැඩිදුර උපදෙස් සඳහා තානාපති කාර්යාලයේ WhatsApp අංකය වන 00972-559305731 සතියේ දින හත පුරාම විවෘතව පවතී. එරට ආරක්ෂක අංශ (Home Front Command) සහ PIBA ආයතනය ලබාදෙන නිල උපදෙස් අකුරටම පිළිපදින ලෙස තානාපති කාර්යාලය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටී.














