එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට සහාය දක්වන යුරෝපා සංගමයේ (EU) ඕනෑම රටක් ඉරානයේ ප්‍රතිප්‍රහාර සඳහා “නීත්‍යනුකූල ඉලක්ක” බවට පත්වන බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මජීඩ් තක්ත්-රාවන්චි (Majid Takht-Ravanchi) දැඩි ලෙස අනතුරු ඇඟවා තිබේ. ‘France 24’ නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ප්‍රංශය, ග්‍රීසිය සහ ඉතාලිය වැනි යුරෝපා රටවල් දැනටමත් මැදපෙරදිග කලාපයට සිය යුද නෞකා යවා ඇති අතර, ඉරානය පවසන්නේ මෙය තම රටේ ආරක්ෂාවට එල්ල කරන තර්ජනයක් බවයි. බොහෝ යුරෝපා සංගම් නිලධාරීන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් ගැන කතා කළද, ක්‍රියාවෙන් ඔවුන් අමෙරිකානු පාර්ශවයට සහාය දෙන බවට ඉරානය චෝදනා කරයි.
මේ අතර, ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) පසුගිය සිකුරාදා ප්‍රකාශ කළේ ජර්මනිය ඇතුළු හවුල්කරුවන් මෙම ගැටුම අවසන් කිරීමට උත්සාහ කරන බවයි. කෙසේ වෙතත්, ජර්මනිය ද ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ ආරක්ෂක අරමුණු සමඟ එකඟ වන බව ඔහු අවධාරණය කිරීමත් සමඟ යුරෝපා කලාපය කෙරෙහි ද ඉරානයේ අවධානය දැඩි වී තිබේ.














