ඉරානය සහ ඉශ්‍රායල-ඇමෙරිකානු හමුදා අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා පාකිස්ථාන රජය සිය ඉන්ධන මිල ඊයේ (06) සිට ක්‍රියාත්මක වන පරිදි දැවැන්ත ලෙස ඉහළ නංවා තිබේ. එරට ඛනිජ තෙල් අමාත්‍ය අලි පර්වේස් මලික් මහතා ප්‍රකාශ කළේ, ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මිල වැඩි කිරීම සිදු කරමින් පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පාකිස්ථාන රුපියල් 55කින් (20%ක් පමණ) ඉහළ නැංවීමට රජයට සිදුවූ බවයි.
මෙම මිල සංශෝධනයත් සමඟ පාකිස්ථානයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 321.17ක් වන අතර, ඩීසල් ලීටරයක මිල රුපියල් 335.86ක් දක්වා ඉහළ ගොස් ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන තෙල් ප්‍රවාහනයට එල්ල වී ඇති තර්ජන හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 106 ඉක්මවා යාම මෙම තීරණයට හේතු වී තිබේ. මේ අතර, තෙල් තොග රැස් කරන (Hoarding) පිරිස්වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසත්, අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ බලපත්‍ර අවලංගු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇත.














