ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 11 වන ‘රයිසිනා සංවාදය’ (Raisina Dialogue 2026) අද (07) පෙරවරු 11:20ට ඇමතීමට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා නියමිතව තිබේ. භූ-දේශපාලනික සහ භූ-ආර්ථික කරුණු පිළිබඳව සාකච්ඡා කෙරෙන ඉන්දියාවේ ප්‍රමුඛතම සමුළුවක් වන මෙයට සහභාගී වීම සඳහා අමාත්‍යවරයා ඊයේ (06) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියේය.
මෙම සංචාරය අතරතුර විදේශ අමාත්‍යවරයා ඊයේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමු වී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා ඇත. එමෙන්ම කෙන්යාවේ ප්‍රධාන කැබිනට් ලේකම් මුසලියා මුදවාදී (Musalia Mudavadi) මහතා ද හමු වූ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තේය.
වත්මන් මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සහ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව දක්වන දායකත්වය පිළිබඳව අමාත්‍යවරයා සිය දේශනයේදී අවධානය යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














