මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ වසා දමා තිබූ කටාර් ගුවන් කලාපය, අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන් ගමන් (Cargo Flights) සඳහා පමණක් අර්ධ වශයෙන් විවෘත කිරීමට එරට රජය අද (07) තීරණය කර තිබේ. ගැටුම් ආරම්භ වී සතියක කාලයකට පසු ගුවන් සීමාව මෙලෙස විවෘත වන්නේ සීමිත ගුවන් ගමන් වාර සංඛ්‍යාවක් සඳහා පමණි.
කටාර් ගුවන් සේවා අධිකාරිය අවධාරණය කරන්නේ, දැනට පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ මගී ප්‍රවාහන ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි. කටාර් රාජ්‍යයේ ප්‍රධානතම ගුවන් තොටුපොළ වන හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (Hamad International Airport) පරිපාලනය සඳහන් කළේ, ඉදිරි දිනවල පවතින ආරක්ෂක වාතාවරණය සමීක්ෂණය කිරීමෙන් පසු සෙසු ගුවන් ගමන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
පසුගිය සතියේදී ඉරානය විසින් කටාර් ගුවන් තොටුපොළ ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර, කටාර් ආරක්ෂක අංශ එය සාර්ථකව ව්‍යර්ථ කිරීමට සමත් විය. මෙම තත්ත්වය හමුවේ ගුවන් ගමන් ආරක්ෂාව පිළිබඳව බලධාරීන් දැඩි අවධානයෙන් පසුවෙයි.














