Uber සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Dara Khosrowshahi මෑතකදී සහභාගී වූ වැඩසටහනකදී තම සමාගමේ පවතින දැඩි සේවා සංස්කෘතිය පිළිබඳව හෙළිදරව්වක් කර තිබේ. ඔහුට අනුව Uber යනු විවේකීව සිටීමට කැමති අය සඳහා ස්ථානයක් නොවන අතර, සෙනසුරාදා දිනවල පවා තමා එවන විද්‍යුත් ලිපි (Emails) වලට නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් ඉරිදා දිනයේදී ඒ පිළිබඳව විමසීමක් කරන බව ඔහු සඳහන් කරයි.
කලින් Expedia සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලයට වඩා Uber හිදී ඔහු දැඩි නීතිරීති අනුගමනය කරයි. “Expedia හිදී අපි විකුණුවේ නිවාඩු පැකේජ, ඒ නිසා සේවකයන්ගේ ‘වැඩ සහ පෞද්ගලික ජීවිතය අතර සමබරතාව’ (Work-life balance) ගැන අපි සැලකිලිමත් වුණා. නමුත් Uber හි තත්ත්වය වෙනස්. මෙහිදී ඔබ ඉතා වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුයි. ඔබට දක්ෂතා පෙන්විය නොහැකි නම් අපි ඒ බව ඔබට දන්වනවා, එය නිවැරදි කර නොගතහොත් ඔබව ඉවත් කිරීමට පවා අපි පසුබට වෙන්නේ නැහැ,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා ඇත.
කෙසේ වෙතත්, මෙය සේවකයන්ට නම්‍යශීලී විය නොහැකි බවක් අදහස් නොකරන බව ඔහු පෙන්වා දෙයි. ඔහු පවසන්නේ තමා ද සවස 6 සිට 8 දක්වා කාලය පවුල සමඟ ගත කිරීමට වෙන් කරන නමුත්, රාත්‍රී 9:30 ට සහ උදෑසන 5:30 ට යළි ඊමේල් පරීක්ෂා කරමින් කාර්යබහුල වන බවයි.














