ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගිලී ගිය IRIS ඩේනා (IRIS Dena) නෞකාවේ දිවි ගලවා ගත් පිරිස සහ දැනට ශ්‍රී ලංකා භාරයේ පසුවන IRIS බුෂේර් (IRIS Bushehr) නෞකාවේ කාර්ය මණ්ඩලය නැවත ඉරානයට භාර නොදෙන්නැයි ඇමෙරිකාව, ශ්‍රී ලංකා රජයට බලපෑම් කරමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර රහස්‍ය ලේඛනයක් උපුටා දක්වමින් මෙම අනාවරණය සිදු කර ඇති අතර, මෙය කලාපීය දේශපාලනය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය කර තිබේ.
ඉකුත් දා ඉන්දියාවේ පැවැති ‘මිලාන්’ (Milan 2026) නාවික අභ්‍යාසයට සහභාගී වී ආපසු යමින් සිටියදී ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකට ලක්වූ ඉරාන යුද නෞකාවෙන් දිවි ගලවා ගත් 32 දෙනෙකු සහ එන්ජින් දෝෂයක් නිසා අතරමංව සිටියදී ශ්‍රී ලංකා භාරයට ගත් අනෙක් නෞකාවේ සිටි 208 දෙනෙකුගෙන් යුත් පිරිස මේ වන විට වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා සිටිති. කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරිනී ජේන් හොවෙල් (Jayne Howell) ශ්‍රී ලංකා රජයට දන්වා ඇත්තේ, මෙම පිරිස ඉරානය විසින් සිය ප්‍රචාරක කටයුතු (Propaganda) සඳහා යොදා ගැනීම වැළැක්වීමට ඔවුන්ව පිටුවහල් නොකළ යුතු බවයි. එසේම මෙම නාවිකයන් අතරින් ඉරාන රජයට එරෙහිව දේශපාලන රැකවරණ (Defection) ලබා ගැනීමට කැමති පිරිසක් සිටීද යන්න පිළිබඳව ද ඇමෙරිකාව අවධානය යොමු කර ඇත.
මේ අතර, ප්‍රහාරයෙන් මියගිය නාවිකයන් 87 දෙනෙකුගේ සිරුරු ඉරානයට ගෙනයෑම සඳහා ඉරාන රජය කළ ඉල්ලීමට මෙතෙක් ස්ථිර කාල රාමුවක් ලබා දී නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කර තිබේ. ලෝක යුද්ධයකින් පසුව සබ්මැරීනයක් මගින් නෞකාවක් ගිල්වා දැමූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර ඇත්තේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස මානුෂීය පදනම මත මෙම නාවිකයන්ට ආරක්ෂාව සපයන බවයි.














