නේපාල දේශපාලනයේ දශක ගණනාවක් පැවති සාම්ප්‍රදායික පක්ෂ ක්‍රමය අතික්‍රමණය කරමින්, 35 හැවිරිදි හිටපු රැප් ගායක බාලේන්ද්‍ර “බාලේන්” ෂා (Balendra Shah) එරට මීළඟ අගමැතිවරයා වීමේ වැඩි සම්භාවිතාවක් මතුව තිබේ. පසුගිය මාස කිහිපය පුරා නේපාලයේ පැවති දැවැන්ත තරුණ උද්ඝෝෂණ මාලාවකින් පසුව පැවති මහ මැතිවරණයේ මුල් පෙළේ ප්‍රතිඵල අනුව, ඔහුගේ නායකත්වයෙන් යුත් ‘රාෂ්ට්‍රිය ස්වාතන්ත්‍ර පක්ෂය’ (RSP) අනෙකුත් ප්‍රධාන පක්ෂ අභිබවා පෙරමුණට පැමිණ ඇත.
2025 සැප්තැම්බර් මාසයේදී නේපාලයේ ‘Z පරම්පරාව’ (Gen-Z) විසින් මෙහෙයවන ලද දූෂණ විරෝධී අරගලය හමුවේ එවකට අගමැතිව සිටි කේ.පී. ෂර්මා ඕලි ඉල්ලා අස් වූ අතර, ඉන් පසුව පැවැත්වූ මෙම මැතිවරණයේදී බාලේන්ද්‍ර ෂා වෙත තරුණ ඡන්දදායකයන්ගේ දැඩි ආකර්ෂණයක් ලැබී තිබේ. ආසන 165කින් යුත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ආසන 100කට අධික සංඛ්‍යාවක ඔහු දැනටමත් පෙරමුණ ගෙන සිටී. කත්මණ්ඩු නුවර හිටපු නගරාධිපතිවරයෙකු වන ඔහු, දූෂණයට එරෙහිව සහ විනිවිදභාවය වෙනුවෙන් පෙනී සිටින නායකයෙකු ලෙස නේපාලයේ නව දේශපාලන සංකේතයක් බවට පත්ව ඇත.














