ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සහ ගල්කිස්ස මහ හෝටලයේ පූර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කරනු ලබන 87 වන සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලිය (87th Two Miles Sea Swimming Competition) අද (07) ගල්කිස්ස මුහුදු තීරයේදී අතිසාර්ථකව ආරම්භ විය. දශක නවයකට ආසන්න ඉතිහාසයක් ඇති මෙම කීර්තිමත් තරගාවලිය සඳහා මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000කට ආසන්න පිරිසක් සහභාගී වන අතර, පළමු දිනය වූ අද අවුරුදු 15න් පහළ බාලක බාලිකා සහ විවෘත කාන්තා අංශයේ තරග පැවැත්විණි. මෙවර තරගාවලියට විවෘත පිරිමි අංශයෙන් 500ක්, කාන්තා අංශයෙන් 150ක් සහ 15න් පහළ අංශවලින් 230ක් පමණ එක්ව සිටින අතර විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද ඊට ඇතුළත් වීම විශේෂත්වයකි.
අද පැවති තරග ප්‍රතිඵල අනුව අවුරුදු 15න් පහළ බාලිකා අංශයේ ප්‍රථම ස්ථානය පානදුර ලීඩ්ස් ජලක්‍රීඩා සමාජයේ මින්දේ තෙහස්‍යා පියසේන දිනාගත් අතර, එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙළින් කෙයාරා රණේපුර සහ S.A.D. තසන්‍යා විසින් හිමිකර ගන්නා ලදී. 15න් පහළ බාලක අංශයේ ජයග්‍රහණය මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ ඒරන් ද සේරම් හිමිකර ගත් අතර එහි දෙවන ස්ථානය M.L.S. ආදිත්‍ය සහ තෙවන ස්ථානය D. සෙත්මින් රණවීර දිනා ගත්තේය. වඩාත් උද්යෝගිමත් වූ විවෘත කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය අම්බලන්ගොඩ පිහිනුම් ඇකඩමියේ අනුහංසි ද සිල්වා දිනා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ N.H.A. ද සිල්වා දෙවන ස්ථානයත්, PDS කුලරත්න විද්‍යාලයේ D.G.S.N. ධර්මපාල් තෙවන ස්ථානයත් හිමිකර ගත්හ. හෙට (08) දිනයේදී තරගාවලියේ තීරණාත්මක විවෘත පිරිමි අංශයේ තරග පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම අවස්ථාවට ජල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් මානද යහම්පත් මහතා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.














