ආයුර්වේද වෛද්‍ය සභාවේ නාමය ව්‍යාජ ලෙස භාවිත කරමින් පවත්වාගෙන යනු ලබන ආයතන සහ සුදුසුකම් නොලත් ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව තොරතුරු වෙතොත් වහාම දැනුම් දෙන ලෙස ආයුර්වේද වෛද්‍ය සභාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිසි සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් ලියාපදිංචි කිරීම, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ සායන පැවැත්වීම හරහා කූඨ ලෙස මුදල් ඉපැයීමේ ව්‍යාපාර වර්තමානයේ වාර්තා වී ඇති බව එම සභාව පෙන්වා දෙයි.
ආයුර්වේද, සිද්ධ, යුනානි සහ දේශීය චිකිත්සා වෛද්‍යකර්මයන් සඳහා නෛතික බලය පිරිනමන එකම ආයතනය ආයුර්වේද වෛද්‍ය සභාව වන අතර, ඕනෑම වෛද්‍යවරයෙකුගේ අනන්‍යතාව එම සභාව හරහා තහවුරු කර ගත හැකිය. මෙම කූඨ ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනත යටතේ දැඩි නීතිමය පියවර ගන්නා බව එම සභාව අවධාරණය කරයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට හෝ පැමිණිලි ඉදිරිපත් කිරීමට 0112 844 966 අංකය අමතන ලෙස මහජනතාවට දැනුම් දී ඇත.













