මැදපෙරදිග කලාපයේ පවතින දරුණු යුදමය වාතාවරණය දැඩි ලෙස හෙළා දකිමින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (07) ප්‍රකාශ කළේ යුද්ධයේ නිරත වන සියලු පාර්ශ්වයන් “මෝඩයන්” බවයි. තේවත්ත බැසිලිකා දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකදී අදහස් දක්වමින් උන්වහන්සේ අවධාරණය කළේ, ලෝකවාසීන් සතුටින් තැබීමට යෙදවිය හැකි සම්පත් මෙලෙස විනාශ කර දැමීම බරපතල දුර්වලතාවක් බවයි.
ලෝක නායකයන් සිය අවිආයුධ අවසන් බවත්, මීට වඩා දරුණු අවි ඉදිරියේදී භාවිත කරන බවත් පවසන ප්‍රකාශ පිළිබඳව උන්වහන්සේ සිය කනගාටුව පළ කළහ. තමන් ශක්තිමත් යැයි සිතා යුද්ධ කරන පිරිස් සැබවින්ම දුර්වල බවත්, යුද්ධය යනු මෝඩයන්ගේ ක්‍රියාවක් බවත් කාදිනල් හිමිපාණන් මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළහ. මැදපෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු සමස්ත ලෝකයම පීඩාවට පත්ව ඇති මොහොතක සාමය වෙනුවෙන් පෙනී සිටීමේ වැදගත්කම උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.














