ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපති ජෝ බයිඩන් සහ නිකී හේලි ඇතුළු ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ 47 හැවිරිදි පකිස්ථාන ජාතික අසීෆ් මර්චන්ට් (Asif Merchant) නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණයක් විසින් ඊයේ (06) වරදකරු කරනු ලැබීය. ඉරාන විප්ලවීය බළකායේ (IRGC) පුහුණුව ලැබූ නියෝජිතයෙකු ලෙස මොහු 2024 වසරේදී ඇමෙරිකාවට පැමිණ ඇති අතර, 2020 දී මියගිය ඉරාන ජෙනරාල් කාසෙම් සුලෙයිමානිගේ මරණයට පළිගැනීමක් ලෙස මෙම ඝාතන සැලසුම් කර තිබූ බව අධිකරණයේදී අනාවරණය විය.
බෘක්ලින් හි පැවති සතියක නඩු විභාගයකින් පසු, ජූරි සභාව පැය දෙකකට අඩු කාලයකදී ඔහු ත්‍රස්තවාදය සහ කුලී ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කළේය. තමන් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ වූයේ ඉරානයේ සිටින තම ඥාතීන්ගේ ආරක්ෂාව තකා බවත්, පසුව ඇමෙරිකානු රජයට සහාය වී ‘ග්‍රීන් කාඩ්’ (Green Card) ලබා ගැනීමේ බලාපොරොත්තුවක් තමන්ට තිබූ බවත් මර්චන්ට් ප්‍රකාශ කළ ද අධිකරණය එය පිළිගත්තේ නැත. මේ වන විට ඇමෙරිකාව සහ ඉරානය අතර දරුණු යුදමය වාතාවරණයක් පවතින පසුබිමක මෙම තීන්දුව ප්‍රකාශයට පත් වූ අතර, මර්චන්ට්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වීමේ අවදානමක් පවතී.















