ඇමෙරිකාව සහ ඉශ්‍රායලය සමඟ පවතින යුදමය වාතාවරණය දෙවැනි සතියටත් පිවිසෙද්දී, ජාතික ආරක්ෂාවට හානි කරන සහ සතුරන්ට උදවු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි බලය භාවිතා කරන බවට ඉරාන බලධාරීන් අනතුරු අඟවා තිබේ. ඉරාන බුද්ධි අංශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ “ඇමෙරිකානු-සොයිනිවාදී කුලී හේවායන්” පිරිසක් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරවල දර්ශන ලබාගෙන ඒවා විදේශීය ජාල වෙත යැවීමට කටයුතු කරමින් සිටින බවයි. මේ හේතුවෙන් ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් දුරකථන ඇමතුම් හෝ දේශීය පණිවුඩ හුවමාරු සේවා හරහා වහාම දැනුම් දෙන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ වන විට ඉරානය තුළ ගෝලීය අන්තර්ජාල සබඳතා විසන්ධි කර ඇති අතර, ටෙහෙරාන් නුවර මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඇතුළු ස්ථාන රැසකට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ. යුද්ධය සමනය වීමේ ලකුණු මෙතෙක් දක්නට නොමැති අතර, අභ්‍යන්තරව ක්‍රියාත්මක විය හැකි ‘පස්වැනි බලකාය’ (Fifth Column) හෙවත් සතුරු ඒජන්තයන් හඳුනා ගැනීමට බුද්ධි අංශ සිය මෙහෙයුම් දැඩි කර තිබේ. පවතින තත්ත්වය හමුවේ ඉරාන වැසියන්ට දැඩි සීමා පනවා ඇති අතර ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ලෙසට රජය දිගින් දිගටම නිවේදන නිකුත් කරමින් සිටියි.














