පසුගිය දින තුන පුරා ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර මාලාවකින් ඉරානයට අයත් නාවික යාත්‍රා 42ක් විනාශ කිරීමට ඇමරිකානු හමුදා සමත් වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ෆ්ලොරිඩා හිදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ මෙම ප්‍රහාර හරහා ඉරානයේ ගුවන් බලය සහ සන්නිවේදන පද්ධතිවලින් වැඩි ප්‍රමාණයක් අක්‍රිය කිරීමට ද හැකි වූ බවයි. ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට ආසන්නව සිටීම හේතුවෙන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට අදාළ මධ්‍යස්ථාන ද මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම යුද මෙහෙයුම ඉරානයේ යුදමය හැකියාව අඩපණ කිරීමට එල්ල කළ තීරණාත්මක පහරක් බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින මෙම යුදමය වාතාවරණය හමුවේ ඇමරිකාව සිය දැඩි මිලිටරි ක්‍රියාමාර්ග ඉදිරියටත් පවත්වාගෙන යන බවට මෙම ප්‍රකාශය හරහා ඉඟි පළ කර තිබේ. මෙම ප්‍රහාර මාලාවත් සමඟ ගෝලීය දේශපාලන සහ ආර්ථික ක්ෂේත්‍රය තුළ දැඩි නොසන්සුන්කාරී බවක් වර්ධනය වෙමින් පවතී.














