හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, ධර්මධර, විනයධර හා ශාස්ත්‍රීය දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අද (07) පැවති නව බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. නිදහස් අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් කරමින්, ගුණාත්මක අධ්‍යාපනය සෑම පුරවැසියෙකුටම පොදු මානව අයිතිවාසිකමක් ලෙස ලබා දීම රජයේ ප්‍රතිපත්තිය බව ද ඇය මෙහිදී අවධාරණය කළාය.
භික්ෂු විශ්වවිද්‍යාලය තුළ ස්ථාපිත නව භාෂා පුහුණු මධ්‍යස්ථානය සහ ජාත්‍යන්තර සම්බන්ධතා ඒකකය හරහා ජාත්‍යන්තර මට්ටමින් බෞද්ධ දර්ශනය ප්‍රචාරය කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට රජය සූදානම් බව ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. නාලන්දා සහ වික්‍රමශිලා වැනි ඓතිහාසික අධ්‍යාපන ආයතනවල උරුමය සිහිපත් කරමින් ඇය කියා සිටියේ, නූතන ලෝකයට ගැළපෙන තාක්ෂණික හා භාෂාමය දැනුමෙන් භික්ෂූන් වහන්සේලා සන්නද්ධ කිරීමේ වැදගත්කමයි. මෙම උත්සවයේදී අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විද්වතුන් කිහිපදෙනෙකු වෙනුවෙන් උපහාර ප්‍රදානය කිරීම ද සිදු කෙරිණි.














