ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගැනීමට සමත් වී තිබේ. මෙම මෙහෙයුමේදී යාත්‍රාවේ සිටි සැකකරුවන් හය දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් මෙරට දකුණු වෙරළ තීරය ඉලක්ක කර ගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූවන් බවට සැක කෙරේ.
නාවික හමුදාව සඳහන් කළේ අදාළ ධීවර යාත්‍රාව, සැකකටයුතු උර තොගය සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ගොඩබිමට රැගෙන එමින් පවතින බවයි. ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව මත්ද්‍රව්‍යවල බර සහ එහි වටිනාකම ගණනය කිරීමට නියමිතය. ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයන් මෙරට ගැඹුරු මුහුද භාවිතා කරමින් සිදුකරන ජාවාරම් මැඩලීම සඳහා නාවික හමුදාව සිය සෝදිසි මෙහෙයුම් තවදුරටත් දැඩි කර තිබේ.














