රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේන යුද්ධය මේ වන විට ඉහළ තාක්ෂණික මුහුණුවරක් ගනිමින් පවතින අතර, එහි නවතම පියවර ලෙස සන්නද්ධ රොබෝවරුන් (Armed Robots) යුද බිමට යෙදවීමට යුක්රේනය පියවර ගෙන තිබේ. ගොඩබිම මෙහෙයුම් සඳහා භාවිතා කරන මෙම සන්නද්ධ රොබෝ පද්ධති හෙවත් ‘සන්නද්ධ මිනිසුන් රහිත ගොඩබිම් වාහන’ (UGVs) දැනටමත් යුද පිටියේදී සිය දක්ෂතා පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.
යුද්ධය ආරම්භයේ සිටම ඔත්තු බැලීමේ සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා අහසේ ආධිපත්‍යය පැතිරවූ අතර, මිනිසුන් රහිත යාත්‍රා මඟින් කළු මුහුදේ රුසියානු නාවික හමුදාවට දැඩි බලපෑම් එල්ල කිරීමට යුක්රේනය සමත් විය. මෙම සාර්ථකත්වයත් සමඟ යුක්රේනය මේ වන විට දැවැන්ත වැඩසටහනක් හරහා ගොඩබිම සටන් සඳහා ද රොබෝ තාක්ෂණය බහුලව භාවිතා කිරීමට පටන් ගෙන තිබේ. මිනිස් ජීවිත අවදානම අවම කරමින් සතුරාට ප්‍රහාර එල්ල කිරීමට මෙමඟින් හැකි වන බැවින්, මෙය යුද උපක්‍රමවල තීරණාත්මක හැරවුම් ලක්ෂයකි.














