1998 ජනවාරි 25 වැනිදා අලුයම 6.10ට පමණ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ ම්ලේච්ඡ ට්‍රක් රථ බෝම්බ ප්‍රහාරය ඉතිහාසයේ නොමැකෙන කළු පැල්ලමකි. එහෙත් එම මාරක තර්ජනය හමුවේ නොසැලී සිටිමින්, දළදා වහන්සේ වැඩසිටින මාලිගාවේ ප්‍රධාන යකඩ ගේට්ටුව වසා දැමීමට කටයුතු කළ කාන්තා පොලිස් කොස්තාපල් ගීතානි ජයවර්ධන මහත්මිය නිසා මාලිගා ගර්භයට වන්නට ගිය මහා විනාශය වළක්වා ගැනීමට හැකි විය.
කිලෝ 400ක පුපුරණ ද්‍රව්‍ය රැගත් ලොරි රථය සඳකඩපහණ දෙසට කඩා වදිනු දුටු සැණින්, ඇය සිය ජීවිතය ගැන නොසිතා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ගේට්ටුව වසා දැමීමට ගත් ක්ෂණික තීරණය දළදා සමිඳුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තැබූ අතිශය තීරණාත්මක පියවරක් විය. මෙම බිහිසුණු ප්‍රහාරයෙන් පුද්ගලයන් 18 දෙනෙකු මියගිය අතර, පිපිරීමේ ප්‍රබලත්වය කෙතරම්ද යත් එහි හඬ කිලෝමීටර් 25ක් ඈතින් පිහිටි ගම්පොළ නගරයට පවා ඇසුණු බව වාර්තා වේ.
පිපිරීමත් සමඟ ගේට්ටුවේ තිබූ බරැති පිත්තල තහඩුවක් ඇය මතට කඩා වැටීම හේතුවෙන් බෝම්බයේ සෘජු සැරෙන් ආරක්ෂා වූ ඇය, මියගිය බවට පැතිර ගිය කටකතා බොරු කරමින් දළදා සමිඳුන්ගේ හාස්කමකින් මෙන් යළි පණ ලැබුවාය. එදා හේමමාලා කුමරිය දළදා වහන්සේ ආරක්ෂා කරමින් මෙරටට වැඩම කරවූවා සේම, එය ම්ලේච්ඡ විනාශයකින් බේරාගත් “අපේ කාලයේ හේමමාලාව” ලෙස ගීතානි ජයවර්ධන මහත්මිය අදටත් ජාතියේ ගෞරවාදරයට පාත්‍ර වේ.
ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන අද වැනි දිනක, ආයුධයකින් නොව අවංක භක්තියෙන් සහ වගකීමෙන් උපන් ආත්ම ශක්තියෙන් ජාතියේ මුදුන් මල්කඩ රැකගත් ගීතානි ජයවර්ධන වීරවරියට අපගේ උත්තමාචාරය හිමිවිය යුතුය.














