ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේදී අමෙරිකානු ප්‍රහාරයකින් විනාශයට පත් වූ ඉරාන නාවික හමුදාවට අයත් IRIS Dena නෞකාව සම්බන්ධයෙන් අමෙරිකානු ඉන්දු-පැසිෆික් ආඥාපති කාර්යාලය (INDOPACOM) විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නෞකාව අවි ආයුධවලින් තොර නිරායුධ එකක් බවට එල්ල වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ඔවුන්, එය සන්නද්ධ ගැටුම් පිළිබඳ නීතියට (Law of Armed Conflict) අනුව ඉතා පැහැදිලි හමුදා ඉලක්කයක් බව අවධාරණය කරයි.
මෙම සිද්ධියට අදාළව අමෙරිකානු නිවේදනයේ ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයක් මෙසේය. අදාළ නෞකාව සන්නද්ධව සිටි බවත් එය හමුදාමය ක්‍රියාකාරකම් සඳහා භාවිත කරමින් තිබූ බවත් අමෙරිකානු බලධාරීන් පෙන්වා දෙයි. එම නිසා එය නීත්‍යනුකූල ඉලක්කයක් ලෙස සලකා ප්‍රහාරය එල්ල කළ බව ඔවුන් පවසයි.
එමෙන්ම ප්‍රහාරයෙන් පසුව මුහුදේ අතරමං වූ පිරිස් බේරා ගැනීම සහ ජීවිතාරක්ෂක කටයුතු සඳහා ශ්‍රී ලංකා පාර්ශවයෙන් ලැබුණු කඩිනම් සහයෝගය අමෙරිකානු හමුදාව බෙහෙවින් අගය කර තිබේ. කලාපීය ආරක්ෂාව සහ මානුෂීය මෙහෙයුම්වලදී ශ්‍රී ලංකාව දැක්වූ මෙම දායකත්වය අතිශය වැදගත් බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.














