රසායනික පොහොර, කෘමිනාශක සහ බීජ වර්ග සඟවා වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක් මවාපෑමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව උඩරට අර්තාපල් සහ එළවළු වගා කරන්නන්ගේ සංගමයේ සභාපති තරිඳු රත්නායක මහතා පවසයි. මහ පරිමාණ වාණිජ ගොවීන් සහ තොග වෙළෙඳුන් එක්ව මෙම මිල ඉහළ දැමීමේ කුමන්ත්‍රණය මෙහෙයවන බව ඔහු පෙන්වා දෙයි.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ආනයන කටයුතු ඇනහිට ඇති බව පවසමින්, මේ වන විටත් පොහොර මිටියක මිල රුපියල් දහසත් එක්දහස් පන්සියයත් අතර අගයකින් ඉහළ දමා ඇති බව වාර්තා වේ. ඉරානය, චීනය සහ ඕමානය වැනි රටවලින් පොහොර ආනයනය කෙරෙන අතර, නැව් ගමනාගමනයට එල්ල වී ඇති බාධා ඉදිරි යල කන්නයේ වගා කටයුතුවලට දැඩි ලෙස බලපෑම් කළ හැකි බව රත්නායක මහතා අවධාරණය කරයි.
මෙම තත්ත්වය හමුවේ ගොවීන් අසරණ වීම වැළැක්වීමට සහ කූට වෙළෙඳුන්ට එරෙහිව කඩිනම් පියවර ගන්නා ලෙස වගා කරන්නන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.














