නවදිල්ලියේ පැවැත්වෙන ‘රයිසිනා සංවාදය – 2026’ (Raisina Dialogue-2026) සමුළුවේ විශේෂ සැසියක් අමතමින් ආන්ධ්‍රා ප්‍රදේශ් මහ ඇමති එන්. චන්ද්‍රබාබු නායිදු මහතා පවසා සිටියේ ලොව ඕනෑම රටක සිටින දක්ෂතම රාජ්‍යතාන්ත්‍රිකයන් (Diplomats) වන්නේ ඉන්දියානුවන් බවයි. ලෝකයේ පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාවන් මධ්‍යයේ වුවද ඕනෑම සමාජයකට බාධාවකින් තොරව අනුගත වීමට ඇති හැකියාව හේතුවෙන් ඔවුන් මෙම ගෞරවය දිනාගෙන ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
නායිදු මහතා සිය දේශනයේදී අවධාරණය කළ වැදගත් කරුණු කිහිපයක් මෙසේය. ලෝකයේ කොතැනක ගියත් ඉන්දියානුවන් හමුවන බවත්, ඔවුන් දේශීය ප්‍රජාවන් සමග පහසුවෙන් මිදී ගෝලීය සුබසාධනයට දායක වන බවත් ඔහු පැවසීය. අතීතයේදී ඉන්දියානු සංක්‍රමණය අමෙරිකාවේ සිලිකන් නිම්නය වැනි සීමිත ප්‍රදේශවලට පමණක් සීමා වී තිබුණද, අද වන විට තාක්ෂණික හා නවෝත්පාදන ක්ෂේත්‍ර ඔස්සේ ඉන්දියානුවන් සියලු මහද්වීප කරා ව්‍යාප්ත වී ඇති බව ඔහු සඳහන් කළේය.
ඉන්දියාව තුළ ආර්ථික අවස්ථා ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමග, විදේශගතව සිටින ඉන්දියානුවන් නැවත සිය මව්බිමට පැමිණීමේ (Reverse Migration) ප්‍රවණතාවක් ඉදිරියේදී දැකිය හැකි වනු ඇතැයි ද මහ ඇමතිවරයා මෙහිදී විශ්වාසය පළ කළේය. ශක්තිමත් පාලනයක් යටතේ ඉන්දියාවේ වර්ධන විභවය අතිශය ඉහළ මට්ටමක පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














