ඉරාන නෞකාවේ සිටි නාවිකයන් බේරාගැනීමට රජය දැක්වූ උනන්දුව වතුකරයේ ජනතාවගේ ගැටලු විසඳීමට ද දක්වන ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා රජයෙන් ඉල්ලා සිටියි. හැටන් කොටගලදී ඊයේ (07) පැවති එම සන්ධානයේ මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ, වතු ජනතාව වෙනුවෙන් සම්මත කරගත් ප්‍රධාන ඉල්ලීම් 11ක් දිනා ගැනීමට රජය සමඟ සාකච්ඡා කරන බවයි.
මෙහිදී ප්‍රධාන වශයෙන් වතුකරයේ ජනතාවට පර්චස් 07ක ඉඩම් ලබාදීම, වතු සේවක නොවන අයට පවා නිවාස පහසුකම් සැලසීම සහ රජය මගින් වැඩි කළ රුපියල් 1750 වැටුප කුඩා තේ වතු හා අනියම් සේවකයන්ට ද අනිවාර්යයෙන් ලබාදීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු විය. වත්මන් රජය බලයට පත්වීමට පෙර ලබා දුන් පොරොන්දු මෙතෙක් නිසි ලෙස ඉටු කර නොමැති බවත්, වතු ජනතාවට අනුකම්පාව නොව ඔවුන්ට හිමි අයිතිවාසිකම් ලබා දිය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම රැස්වීම සඳහා පලනි දිගම්බරම් සහ වී. රාධාක්‍රිෂ්ණන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගී වී සිටියහ.














