ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය ඉහළ නැංවීම සහ කුඩා තේ වතු හිමියන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කරගත් “පිවිතුරු තේ ගම්මාන 500” සුවිශේෂී ව්‍යාපෘතිය අද (08) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි. 2030 වසර වන විට මෙරට සමස්ත නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීම සහ තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වා වැඩිකිරීම රජයේ ප්‍රධාන ඉලක්කයයි. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් මෙම උපායමාර්ගික සැලැස්ම මෙහෙයවනු ලබයි.
තේ ගොවියා හුදු වගාකරුවෙකුගෙන් ඔබ්බට ගිය ව්‍යවසායකයෙකු ලෙස වර්ධනය කිරීම මෙම වැඩපිළිවෙළේ මූලික අරමුණක් වන අතර තේ කර්මාන්තය ඩිජිටල්කරණය කිරීම සහ නව තාක්ෂණය හඳුන්වා දීම කෙරෙහි ද මෙහිදී ප්‍රමුඛතාවක් හිමිවේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ ‘ප්‍රජා ශක්ති’ ව්‍යාපාරය ඒකාබද්ධව දිළිඳුකම තුරන් කිරීමේ වැඩපිළිවෙළක් ලෙස ද මෙය ක්‍රියාත්මක වේ. මෙම වැඩමුළුව සඳහා අමාත්‍යාංශ නිලධාරීන්, ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ව්‍යාප්ති නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටි අතර, ඉදිරි වසර කිහිපය තුළ තේ ගම්මාන 500ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිතය.














