ඉදිරි සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම සඳහා ධීවර සංස්ථාව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී තීරණය වූයේ ‘අලුත් අවුරුද්දට අලුත් මාළු අලුත් මිලට’ යන තේමාව යටතේ කොප්පරා සහ සප්පරා වැනි මසුන් විශේෂ සහන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරීමටයි.
මෙහිදී ධීවර සංස්ථාවේ සේවකයන්ගේ ගැටලු විසඳීමට ද පියවර ගෙන ඇති අතර, සේවක අර්ථසාධක අරමුදල් (EPF) සහ පාරිතෝෂික දීමනා ගෙවීම කඩිනම් කිරීමට ජනාධිපතිවරයා ලබාදුන් ප්‍රතිපාදන යොදවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව, ජපන් ආධාර යටතේ ලැබෙන අධිශීතකරණ ට්‍රක් රථ (Freezer Trucks) ව්‍යාපෘතිය සහ රුපියල් මිලියන 86ක වියදමින් ඉදිවන මෙට්‍රික් ටොන් 150ක නව අධිශීතනාගාරය ද කඩිනමින් අවසන් කිරීමට නියමිතය. සංස්ථා සභාපති මොහොමඩ් නව්රාස් නසාර් මහතා ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ මගින් මත්ස්‍ය නිෂ්පාදන රට අභ්‍යන්තරයට බෙදා හැරීමට ද නව වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි.














