ඉන්දියාවේ පැවැති ‘රයිසිනා සංවාදය’ (Raisina Dialogue) ජාත්‍යන්තර සමුළුව අතරතුර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා දැක්වූ අදහස් සහ ඒ සඳහා ඔහු දැක්වූ සූදානම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ප්‍රසිද්ධියේ සිය විවේචනය පළ කර තිබේ. ලොව පුරා රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විශ්ලේෂකයන් 600කට අධික පිරිසක් ඉදිරියේ මෙරට නියෝජිතයන් පෙනී සිටිය යුත්තේ මීට වඩා දූරදර්ශී සහ මනා සූදානමකින් යුතුව බව ඔහු පෙන්වා දෙයි.
විශේෂයෙන්ම ප්‍රවීණ මාධ්‍යවේදිනී පල්කි ෂර්මා මතු කළ ඉරාන නෞකා පිළිබඳ ප්රශ්නය වැනි සංවේදී කරුණකදී, ශ්‍රී ලංකාවේ තීරණ සැමවිටම නීතිය, ප්‍රතිපත්ති සහ රටේ යහපත මත පදනම් වන බව පවසමින් ඉතා සරලව පිළිතුරු දීමට අමාත්‍යවරයාට අවස්ථාව තිබූ බව අමරසූරිය මහතා පවසයි. අමාත්‍යවරුන් විදේශ සබඳතා පිළිබඳ විශේෂඥයන් නොවිය හැකි වුවත්, ඔවුන්ව මෙවැනි ගෝලීය වේදිකාවලට පෙර නිසි ලෙස දැනුවත් කිරීම (Briefing) විදේශ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ වගකීමක් බව ද ඔහු අවධාරණය කළේය. ඉදිරියේදී මෙවැනි වැදගත් අවස්ථාවලදී මෙරට නියෝජිතයන් මීට වඩා හොඳ සහායකත්වයක් සහිතව ඉදිරිපත් විය යුතු බව නීතිඥ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.














