ඩුබායිහි ප්‍රකට මරීනා (Dubai Marina) ප්‍රදේශයේ පිහිටි තට්ටු 90කින් යුත් ’23 Marina’ නේවාසික මහා මන්දිරය මතට ඩ්‍රෝන හෝ මිසයිල සුන්බුන් පතිත වීමෙන් සෙනසුරාදා දින අනතුරක් සිදුව තිබේ. අහසේදී සාර්ථකව මැඩපවත්වන ලද ප්‍රහාරයක සුන්බුන් මෙලෙස ගොඩනැගිල්ලේ මුහුණතෙහි (Facade) වැදී ඇති අතර, ඉන් පසුව ගොඩනැගිල්ලේ ඉහළ කොටසින් දුම් රොටු පිටවන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.
ඩුබායි මාධ්‍ය ඒකකය (Dubai Media Office) මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මෙය ගොඩනැගිල්ලේ පිටත කොටසට සිදුවූ සුළු හානියක් බවත්, සිද්ධියෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල සිදුව නොමැති බවත්ය. අමෙරිකා-ඉරාන යුදමය වාතාවරණය හමුවේ ඩුබායි වැසියන්ගේ ජංගම දුරකථන වෙත මිසයිල තර්ජන පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් ද ලැබී තිබූ පසුබිමක මෙම සිදුවීම ප්‍රදේශවාසීන් අතර දැඩි භීතියක් ඇති කිරීමට හේතු විය.
වෙරළබඩ තීරයේ පිහිටි ලොව උසම නේවාසික ගොඩනැගිලිවලින් එකක් වන මෙහි තත්ත්වය මේ වන විට සාමාන්‍ය අතට හැරෙමින් පවතින බවත්, ආරක්ෂක අංශ විසින් අදාළ ස්ථානයේ වැඩිදුර විමර්ශන පවත්වන බවත් වාර්තා වේ.














