ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ලංකාව පුරා ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටින කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් සංවිධානය කළ විශේෂ පාගමනක් අද (08) උදෑසන කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ විය. නිදහස් වෙළඳ කලාපීය කම්කරු කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටින ‘ස්ත්‍රී මධ්‍යස්ථානය’ විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
විහාරමහාදේවී උද්‍යානය අසලින් ආරම්භ වූ මෙම පාගමන කොළඹ මහජන පුස්තකාලය දක්වා ගමන් කළ අතර, අනතුරුව එහිදී ප්‍රධාන කාන්තා දින සැමරුම් වැඩසටහන පවත්වන ලදී. දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි ඇඟලුම් කර්මාන්තශාලාවල සේවය කරන විශාල කාන්තා පිරිසක් තම අයිතිවාසිකම් සහ වෘත්තීය අභිමානය වෙනුවෙන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තම ශ්‍රමයෙන් මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දෙන ඇඟලුම් සේවිකාවන් මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරවීම ද මෙහි එක් අරමුණක් විය.














