ඉරාන යුද නෞකා සහ එහි කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගන්නා තීරණ පිළිබඳව ඇමෙරිකානු රජයේ දැඩි බලපෑමක් පවතින බවට පළ වූ වාර්තා මධ්‍යයේ, ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ ‘IRIS Bushehr’ නෞකාව සහ බේරාගත් නාවිකයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව සතු ස්වෛරීභාවයට වොෂින්ටනය පූර්ණ ගරුත්වය ලබා දෙන බවයි.
අදාළ නාවිකයන් යළි මෙරටින් පිටත් කර හරිනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය ජාත්‍යන්තර නීති සහ මෙරට දේශීය නීති පද්ධතියට අනුකූලව ශ්‍රී ලංකාව සතු වගකීමක් බව ඇමෙරිකානු ප්‍රකාශකයා අවධාරණය කළේය. මේ අතර, පසුගිය බදාදා ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගිලී ගිය IRIS Dena නෞකාවේ සිටි නාවිකයන් 32 නෙකුට මෙරට ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව රැකවරණය සලසන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ඉන්දියාවේදී පැවසීය. ඊට අමතරව, තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ත්‍රිකුණාමලයට පැමිණි IRIS Bushehr නෞකාවේ සිටි 219 දෙනෙකුට ද ශ්‍රී ලංකාව මානුෂීය පදනම මත පහසුකම් සලසා ඇත. ඉන්දියාව ද තවත් ඉරාන නෞකාවකට (IRIS Lavan) සිය කොචින් වරායට පැමිණීමට අවසර දී ඇත්තේ මානුෂීය හේතූන් මත බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ප්‍රකාශ කළේය.














