සමාජයට ආදර්ශයක් දීමට මුවාවී පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ පාතාල මර්දන වැඩසටහන් මෙහෙයවූ ප්‍රකට නිවේදකයෙකු වන චා. බණ්ඩාර, වර්තමානය වන විට සක්‍රීය පාතාල සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිටින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. අවි ආයුධ ළඟ තබා ගැනීම, මිනීමැරුම් තැත් කිරීම්වලට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති මොහු, පසුගිය මාසයේදී රහසිගතව ඩුබායි රාජ්‍යය වෙත පලාගොස් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. විශේෂයෙන්ම මොහු සිය මාධ්‍ය අනන්‍යතාවය අවභාවිත කරමින් එක් පාතාල කල්ලියක අවශ්‍යතාව මත අනෙක් කල්ලිය විනාශ කිරීමට මාධ්‍ය බලය යෙදවීම පිළිබඳව දරුණු චෝදනා එල්ල වී ඇත.
මීට මාස කිහිපයකට ඉහතදී රාගම ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ දමා ගොස් තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයාගැනීමේ සිද්ධියේදී පලාගිය සැකකරුවන්ට අවශ්‍ය නවාතැන් සහ ප්‍රවාහන පහසුකම් සපයා දෙමින් ඔවුන්ට නීතියෙන් බේරීමට උදව් කර ඇත්තේ මෙම නිවේදකයා බව විමර්ශනවලදී තහවුරු වී තිබේ. එසේම පසුගිය සතියේ මීගහතැන්න ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ උත්සාහයකදී වෙඩික්කරුට පලායාමට අවශ්‍ය යතුරුපැදිය සපයා දී ඇත්තේද මොහු බව අනාවරණය වී ඇත. දකුණු පළාතේ සිදුවූ මිනීමැරුමකට මොහු සහ පාතාල කල්ලි සාමාජිකයන් අතර සිදුවූ බවට පැවසෙන හඬ පට කිහිපයක් ද මේ වන විට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
තමන්ට හිතවත් පාතාල නායකයින් සමඟ එක්ව ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයින් ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල කිරීමට මොහු ගුවන් විදුලි නාලිකාව භාවිතා කර ඇති බව ද හෙළි වී තිබේ. “රටට ආදර්ශයක් දෙනවා” යැයි පවසමින් ජනතාව නොමග යවා ඇති මොහු, සැබවින්ම සිදු කර ඇත්තේ පාතාල මෙහෙයුමකි. පසුගිය මාසයේදී මොහු දිවයිනෙන් පලාගොස් ඇත්තේ ඩුබායි හි සිටින ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන්ගේ රැකවරණය ලබාගැනීමට බවට සැක කෙරෙන අතර ඔහු මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටී.
– විශේෂ වාර්තාකරුවෙකු විසිනි














