රට තුළ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පවත්නා ඉන්ධන ගබඩා ධාරිතාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එය තවදුරටත් වර්ධනය කිරීමට නව ගබඩා ටැංකි ඉදිකිරීමේ වැඩපිළිවෙළක් බලශක්ති අමාත්‍යාංශය මගින් සැලසුම් කර තිබේ. මේ වන විට ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව ඇත්තේ මෙට්‍රික් ටොන් 440,147ක සමස්ත ගබඩා ධාරිතාවයක් පමණක් වන අතර, එම ප්‍රමාණය ඉහළ නැංවීම සඳහා කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තයන් කේන්ද්‍ර කරගනිමින් නව ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නැංවීමට නියමිතය.
මෙම ඉන්ධන ගබඩා පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොලොන්නාව පර්යන්තය තුළ රුපියල් මිලියන 3,374ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඝන මීටර් 64,000ක ධාරිතාවයකින් යුත් ටැංකි හයක් ඉදිකිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. මීට අමතරව එම පර්යන්තයේම රුපියල් මිලියන 1,470.4ක වියදමින් ඝන මීටර් 22,000ක ධාරිතාවයකින් යුත් තවත් ටැංකි දෙකක් ඉදිකිරීමට ද සැලසුම් කර තිබේ. එමෙන්ම, මුතුරාජවෙල ඛනිජතෙල් ගබඩා පර්යන්තය තුළ ඝන මීටර් 40,000ක ධාරිතාවයකින් යුත් ටැංකි තුනක් ඉදිකිරීම සඳහා ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, රුපියල් මිලියන 3,496ක පිරිවැයකින් ක්‍රියාත්මක වන එම ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන ලේඛන සකස් කරමින් පවතින බව බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














