ඉන්දියාවේ ‘රයිසිනා සංවාදය’ (Raisina Dialogue) අතරතුර විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ඉංග්‍රීසි භාෂා හැසිරවීම විවේචනයට ලක් කිරීම, සැලසුම් සහගත “ප්‍රභූවාදී දේශපාලන ප්‍රහාරයක්” බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි. මෙය හුදෙක් භාෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොව, පවතින රජය “කුරුමිට්ටන්” ලෙස හංවඩු ගසා අපහසුතාවයට පත් කිරීම සඳහා විපක්ෂය විසින් සොයාගත් “බයිට් එකක්” බව ඔහු පෙන්වා දෙයි.
තම යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ, ලක්ෂ්මන් කදිරගාමර් වැනි ප්‍රභූ පසුබිමකින් පැමිණි නායකයන් සමඟ විජිත හේරත් මහතාව සංසන්දනය කිරීම අයුක්තිසහගත බවයි. ඉංග්‍රීසි උච්චාරණය ලංකාවේ ප්‍රභූ පන්තියේ අනන්‍යතාවක් වී ඇති බවත්, එම උගතුන් රට මෙහෙයවීමට අසමත් වූ නිසා ජනතාව මෙම නව දේශපාලන කණ්ඩායම තෝරාගත් බවත් ඔහු පවසයි. බැසිල් රාජපක්ෂ වැනි අතීත දේශපාලනඥයන්ට ද මෙවැනිම භාෂා ගැටලු තිබූ බව සිහිපත් කරන දේවසිරි මහතා, විජිත හේරත් මහතා ඉංග්‍රීසි උච්චාරණය පිළිබඳව ලැජ්ජා විය යුතු නැති බවත් මෙම ප්‍රභූවාදී මතවාදයන්ට දේශපාලනිකව පහර දිය යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.














