මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය සහ ඉන් ලෝකයට මෙන්ම ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මාර්තු 20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව මෙම විවාදය එදින පෙරවරු 11:30 සිට පස්වරු 5:30 දක්වා පැවැත්වීමට නියමිතය. විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවකට අනුව මෙම විවාදය සිදුවනු ඇත.
මෙහිදී ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් වනු ඇත. ඉරානය සහ අමෙරිකාව අතර ගැටුම හමුවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය පිළිබඳ ගැටලු ඒ අතර ප්‍රධාන වේ. එමෙන්ම මැදපෙරදිග සේවය කරන ලාංකිකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ මෙන්ම, ඉන්ධන සැපයුමට සහ ගුවන් හෝ නාවික ගමන් මාර්ගවලට එල්ල වී ඇති බාධා පිළිබඳව ද අවධානය යොමු කෙරේ. පසුගිය දින කිහිපය පුරාම විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී මෙම කරුණු සම්බන්ධයෙන් රජයෙන් ප්‍රශ්න කරන ලද අතර, ජාත්‍යන්තර දේශපාලනික තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ද මෙහිදී විවාදයට ලක් වනු ඇත.














