ලන්ඩනයේ සිටින ඉරාන තානාපති සෙයියඩ් අලි මූසාවි බ්‍රිතාන්‍ය රජයට අනතුරු අඟවමින් කියා සිටින්නේ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඉස්රායලය දියත් කර ඇති යුද්ධයට සෘජුව මැදිහත් වීමෙන් වළකින ලෙසයි. ඉරානයට එරෙහි ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍ය කඳවුරු හෝ පහසුකම් ලබා දෙන්නේ නම්, ස්වයං ආරක්ෂාව සඳහා ඒවාට ප්‍රතිප්‍රහාර දීමට ඉරානයට අයිතියක් ඇති බව ඔහු අවධාරණය කළේය.
ඉරාන ජාතියට එරෙහි ප්‍රහාර සඳහා යම් දේපළක් හෝ හමුදා කඳවුරක් භාවිත කරන්නේ නම් ඒවා “නීත්‍යානුකූල ඉලක්ක” ලෙස සලකා පහර දෙන බව ඔහු පැවසීය. මෙතෙක් බ්‍රිතාන්‍යය සෘජු ප්‍රහාරවලට එක්වී නැතත්, සයිප්‍රසයේ පිහිටි RAF කඳවුරු වැනි බ්‍රිතාන්‍ය පහසුකම් අමෙරිකාවට භාවිත කිරීමට අවසර දී තිබේ. ඉරාන ජනාධිපතිවරයා අසල්වැසි රටවලින් සමාව අයැද සිටියද, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වූ බවට ඊයේ (07) වාර්තා විය.
තානාපති මූසාවි වැඩිදුරටත් කියා සිටියේ 2003 ඉරාක ආක්‍රමණයේදී ලැබූ අත්දැකීම්වලින් බ්‍රිතාන්‍යය පාඩමක් ඉගෙන ගනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. මේ වන විට මැදපෙරදිග යුද්ධය දෙවන සතියට එළඹ ඇති අතර, කුවේටය, බහරේනය සහ ඕමානය වැනි රටවලට ද මෙහි බලපෑම එල්ල වී තිබේ.














