මාතර බන්ධනාගාරය තුළ අද (08) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවූවන් 9 දෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බලධාරීන් ගත් තීරණයත් සමඟ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බව වාර්තා වේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු මෙසේය. අදාළ රැඳවියන් පිරිස මාරු කිරීමෙන් අනතුරුව බන්ධනාගාරය තුළ සිටි සෙසු රැඳවියන් විරෝධය පළ කර ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වූ බන්ධනාගාර බලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සහාය ඉල්ලා තිබේ. ඒ අනුව මේ වන විට බන්ධනාගාරය අවට ආරක්ෂාව දැඩි කර ඇති අතර තත්ත්වය පාලනය කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් මාතර බන්ධනාගාරය වෙත පැමිණ ඇති අතර, මාරු කිරීමට හේතු වූ කරුණු සහ නොසන්සුන්තාවයට මුල් වූ පුද්ගලයන් පිළිබඳව ඔවුන් සොයා බැලීමට නියමිතය.














