මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අභියෝග සහ රජයේ සූදානම පිළිබඳව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය අද (08) විශේෂ අදහස් දැක්වීමක් කළාය. එහිදී ඇය අවධාරණය කළේ පවතින තත්ත්වය මෙරට ආර්ථිකයට තවමත් දරාගත හැකි මට්ටමක පවතින බවයි.
ඇය දැක්වූ අදහස්වල සාරාංශය මෙසේය. යුද කලාපවල සිටින ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ තානාපති කාර්යාල හරහා හදිසි පියවර ගෙන ඇති අතර මේ දක්වා කිසිදු ලාංකිකයෙකුට අනතුරක් වූ බවට වාර්තා වී නොමැත. ලෝක වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල ඉහළ යෑම නිසා මෙරට උද්ධමනය 5% සිට 7% දක්වා ඉහළ යා හැකි වුවද එය දරාගත හැකි මට්ටමක් බව ඇය පවසයි. සංචාරක කර්මාන්තයට සහ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති බාධා හමුවේ යුරෝපීය වෙළඳපොළ වැනි විකල්ප මාර්ග කෙරෙහි රජය අවධානය යොමු කර ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් පසු හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කළේ පවතින ගෝලීය යුදමය වාතාවරණය සහ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා මිස මහජන මර්දනය සඳහා නොවන බව ඇය සහතික විය. මෙම ජාතික අර්බුදයේදී රජයට සහාය දෙන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින අතර රටට ලැබීමට නියමිත GSP+ වැනි සහන දේශපාලන වාසි තකා විවේචනය කිරීම කනගාටුදායක බව ද ඇය සඳහන් කළාය. ජාත්‍යන්තර වෙළඳපොළේ සිදුවන වෙනස්කම් හමුවේ ඉදිරි වසර 10 සඳහා ශක්තිමත් ආර්ථික සැලසුම් රජය සතු බවත් නිෂ්පාදන ආර්ථිකයක් කරා යන ගමන අඛණ්ඩව සිදු කරන බවත් නියෝජ්‍ය ඇමැතිවරිය වැඩිදුරටත් කියා සිටියාය.














