ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අද (08) කොළඹදී පැවැති ජාතික සැමරුම් උළෙල අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ලෝකය හමුවේ ශ්‍රී ලංකාව මනුෂ්‍යත්වයේ සංකේතය බවට පත් කිරීම තම රජයේ ප්‍රධාන අපේක්ෂාව බවයි. ලෝකයේ ඕනෑම යුද්ධයකදී මනුෂ්‍යත්වයේ කොඩිය ඔසවන සහ ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද සහකම්පනයෙන් පිරි ජනතාවක් වසන රටක් ලෙස ශ්‍රී ලාංකීය අනන්‍යතාව ජාත්‍යන්තරයට ගෙන යන බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. විශේෂයෙන්ම වත්මන් පාලනය කෙරෙහි කාන්තාවන් තබා ඇති විශ්වාසය මෑත ඉතිහාසයේ වැඩිම කාන්තා සහභාගීත්වයක් සහිත මෙම උත්සවය හරහා මනාව ඔප්පු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු කිහිපයක් ඉලක්ක කරගනිමින් ජනාධිපතිවරයා මෙහිදී සුවිශේෂී සහන වැඩපිළිවෙළ රැසක් ප්‍රකාශයට පත් කළේය. ග්‍රාමීය කාන්තාවන් බිලිගත් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලෙන් ඔවුන් මුදාගැනීම සඳහා නව නීති සම්පාදනය කරන අතරම, ස්වයං රැකියා සඳහා ඇපකරුවන් හෝ දේපොළ නොමැති කාන්තාවන් වෙනුවෙන් රජය මැදිහත් වී ඇපකර වගකීම භාර ගන්නා බව ඔහු පැවසීය. එමෙන්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා සහකම්පනය හඳුනන ගුණගරුක දරුවෙකු බිහි කරන බවත්, මව්වරුන් බියෙන් පසුවන මත්ද්‍රව්‍ය ව්‍යසනය රටින් මුළුමනින්ම තුරන් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහතික විය.
කාන්තා හිංසනය වැළැක්වීම සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති හඳුන්වා දීමට රජය සූදානම් බව පැවසූ ජනාධිපතිවරයා, ඇතැම් සංස්කෘතික රාමු තුළ සිරවී පීඩා විඳින කාන්තාවන් ඉන් නිදහස් කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සඳහන් කළේය. ආර්ථිකයේ පංගුකාරිනියන් වීමට නොහැකි තරම් අසරණ වූ කාන්තාවන් වෙනුවෙන් විධිමත් මූල්‍ය ආධාර වැඩසටහනක් කාන්තා අමාත්‍යාංශය හරහා ලබන වසරේදී තවත් ශක්තිමත් කරන බව පවසමින්, ඉකිගසන කාන්තාවන් වෙනුවට සිනාමුසු මුහුණින් යුත් අනාගතයක් නිර්මාණය කිරීම තම අරමුණ බව ජනාධිපතිවරයා සිය දේශනය අවසන් කරමින් ප්‍රකාශ කළේය.














