ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ අලුතින් පිහිටුවන ලද ආයතන 6න් ප්‍රධාන ආයතන 3ක් සඳහා නව ප්‍රධාන විධායක නිලධාරීන් (CEOs) පත් කර තිබේ. රජය විසින් බලශක්ති ක්ෂේත්‍රයේ සිදු කරන මෙම තීරණාත්මක වෙනස්කම් සමඟ විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම ස්වාධීන ආයතන මගින් මෙහෙයවීමට නියමිතය.
අලුතින් පත් වූ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ විස්තර මෙසේය. Electricity Distribution Lanka Pvt Ltd (විදුලිය බෙදාහැරීම) හි ප්‍රධාන විධායක ලෙස ඉංජිනේරු කේ.එස්.අයි. කුමාර මහතා පත් කර ඇති අතර Electricity Generation Lanka Pvt Ltd (විදුලිය උත්පාදනය) හි ප්‍රධාන විධායක ලෙස ඉංජිනේරු සාලිය පණ්ඩිතරත්න මහතා පත් කෙරුණි. මේ අතර National Transmission System Services Pvt Ltd (සම්ප්‍රේෂණ පද්ධති සේවා) හි ප්‍රධාන විධායක ලෙස ඉංජිනේරු එන්.එස්. වෙත්තසිංහ මහතා පත් කර තිබේ. මෙම ප්‍රතිව්‍යුහගතකරණය හරහා විදුලිබල මණ්ඩලයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, විනිවිදභාවයකින් යුත් මූල්‍ය කළමනාකරණයක් ඇති කිරීමටත් රජය අපේක්ෂා කරයි. සෙසු ආයතන 3 සඳහා ද ඉදිරි දිනවලදී නව නිලධාරීන් පත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.














