ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කැමේනිගේ අභාවයෙන් පසු, ඔහුගේ අනුප්‍රාප්තිකයා තෝරා පත් කර ගැනීමට සම්බන්ධ වන සියලු දෙනා ඊශ්‍රායලයේ ඉලක්ක බවට පත්වන බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඊශ්‍රායල හමුදාවේ ෆාර්සි භාෂා (Farsi) නිල X ගිණුම හරහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ ඉරානයේ “ප්‍රවීණයන්ගේ සභාව” (Assembly of Experts) අනුප්‍රාප්තිකයෙකු තේරීම සඳහා කොම් (Qom) නගරයට රැස්වීමට සූදානම් වන පසුබිමකය.
“ඊශ්‍රායල රාජ්‍යයේ හස්තය ඕනෑම අනුප්‍රාප්තිකයෙකු සහ ඔහු පත් කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයෙකු පසුපස හඹා එනු ඇත” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ. මෙම රැස්වීමට සහභාගී වීමට සැලසුම් කරන සියලු දෙනා ඉලක්ක කිරීමට තමන් පසුබට නොවන බවට ද ඊශ්‍රායලය අවධාරණය කර ඇත. ඉරාන උත්තරීතර නායකයාගේ ඝාතනයෙන් පසු මැදපෙරදිග කලාපයේ යුදමය උණුසුම උපරිම මට්ටමකට පැමිණ ඇති අතර, මෙම ප්‍රකාශයත් සමඟ ඉරානයේ මීළඟ දේශපාලන නායකත්වය තීරණය කිරීමේ ක්‍රියාවලිය දැඩි අවදානමකට ලක්ව තිබේ.














