මැදපෙරදිග කලාපය පුරා පැතිර යන දරුණු යුදමය වාතාවරණය දැඩි ලෙස හෙළා දකින බවත්, මෙය “කිසිසේත්ම සිදු නොවිය යුතුව තිබූ යුද්ධයක්” බවත් චීනයේ ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රිකයා වන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසයි. චීනයේ වාර්ෂික දේශපාලන සැසිවාරයට සමගාමීව අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළේය.
මෙම යුදමය තත්ත්වය පිළිබඳ චීනයේ ස්ථාවරය සහ වැන්ග් යී මහතා කළ ප්‍රකාශවල සාරාංශය මෙසේය. පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ එහිදී ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම චීනය දැඩි ලෙස හෙළා දකින බව ඔහු යළිත් සිහිපත් කළේය. බලයට බලයෙන් පිළිතුරු දීමෙන් සිදුවන්නේ වෛරය වැපිරීම සහ නව අර්බුද නිර්මාණය වීම පමණක් බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම ඉරානය ඇතුළු ගල්ෆ් කලාපයේ සියලුම රටවල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කළ යුතු බවත්, කිසිදු රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවිය යුතු බවත් වැන්ග් යී මහතා පැවසීය. “වනාන්තර නීතිය” (Law of the jungle) ලෝකය පාලනය කිරීමට ඉඩ නොදිය යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ මීළඟ නායකයා තෝරා ගැනීමට මැදිහත් වන බවට කළ ප්‍රකාශ සහ “කොන්දේසි විරහිතව යටත් වන ලෙස” කළ ඉල්ලීම චීනය ප්‍රතික්ෂේප කරයි. මැදපෙරදිග සැබෑ හිමිකරුවන් එම කලාපයේ ජනතාව බවත්, “වර්ණ විප්ලව” (Colour revolutions) හරහා පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමට දරන උත්සාහයන්ට ජනතා සහායක් නොලැබෙන බවත් ඔහු අවධාරණය කළේය. කලාපයේ සාමය සහ ස්ථාවරත්වය නැවත ඇති කිරීම සඳහා මැදපෙරදිග රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානම් බවත්, යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීමට වහාම හමුදා මෙහෙයුම් නතර කළ යුතු බවත් ඔහු ඉල්ලා සිටියේය.














