ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද (08) දිනයේ, දහසක් බාධක මධ්‍යයේ සිය පවුල වෙනුවෙන් නොසැලී කැපවුණු අපූරු දිරිය කාන්තාවක් පිළිබඳව තොරතුරු හොරණ ප්‍රදේශයෙන් වාර්තා වේ. ඇය නමින් චූලනී වසන්ති වන අතර, ඇයගේ ජීවිත කතාව සමස්ත කාන්තා පරපුරටම මහඟු ආදර්ශයක් සපයයි.
වසන්තිගේ ජීවිතය වෙනස් වුණේ මීට වසර 18කට පෙර ඇයගේ සැමියා ගසකින් ඇදවැටී බරපතළ ලෙස රෝගාතුර වීමත් සමඟය. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහුට රැකියාව අහිමි වූ අතර, එතැන් සිට මාස දෙකක බිළිඳියක ඇතුළු දියණියන් තිදෙනෙකුගේ සහ රෝගී සැමියාගේ වගකීම වසන්තිගේ කර මත පැටවුණි. දරුවන්ගේ අධ්‍යාපනය සහ දෛනික වියදම් සොයාගැනීම වෙනුවෙන් ඇය කිසිවිටෙකත් පසුබට නොවූ අතර වෙළඳාමේ යෙදෙමින් අතමිට සරු කරගැනීමට ඇය මහත් වෙහෙසක් දැරුවාය.
ඇයගේ අසීමිත කැපවීම නිසාම 2021 වසරේදී තමන්ගේම ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට ඇය සමත් විය. දරුවන් වැඩෙත්ම ඉහළ ගිය වියදම් පියවා ගැනීමට අද වනවිට ඇය අච්චාරු අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ද සාර්ථකව පවත්වාගෙන යයි. සැමියාට සෙවනැල්ලක් වෙමින් දියණියන්ට යහපත් අධ්‍යාපනයක් ලබා දීමට වෙහෙසෙන වසන්ති, කාන්තාව යනු ශාරීරිකව සියුමැලි වුවද මානසිකව ඕනෑම අභියෝගයක් ජයගත හැකි ශක්තිමත් චරිතයක් බව ලොවටම ඔප්පු කර හමාරය.














