මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ, ලෝකයේ ප්‍රධානතම තෙල් ප්‍රවාහන මාර්ගය වන හොර්මුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) නාවික කටයුතු යථා තත්ත්වයට පත් නොවුවහොත් ලබන සතිය වන විට බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යනු ඇති බව ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) ආයතනය අනතුරු අඟවා තිබේ.
ලොව සුප්‍රකට ආයෝජන බැංකුවක් වන ගෝල්ඩ්මන් සැක්ස් හි නවතම වාර්තාවලට අනුව, ප්‍රවාහන බාධා තවදුරටත් පැවතුනහොත් වෙළඳපොළේ ඉල්ලුම සහ සැපයුම සමතුලිත කිරීම සඳහා මිල සීඝ්‍රයෙන් ඉහළ දැමීමට සිදුවනු ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ වර්තමානය වන විටත් තෙල් ප්‍රවාහනය 90%කින් පමණ පහත වැටී ඇති බවයි. විශේෂයෙන්ම පිරිපහදු කළ තෙල් නිෂ්පාදනවල (Refined products) මිල 2008 සහ 2022 වසරවල පැවති ඉහළම වාර්තා පවා අභිබවා යාමේ අවදානමක් පවතින බව ද එම ආයතනය පෙන්වා දෙයි.
මේ වන විටත් ජාත්‍යන්තර වෙළඳපොළේ WTI බොරතෙල් මිල ඩොලර් 90.90 දක්වාත්, Brent බොරතෙල් මිල ඩොලර් 94 සීමාවටත් පැමිණ ඇති අතර, යුද්ධය දිග්ගැස්සුණහොත් එය ලෝක ආර්ථිකයේ උද්ධමනය ඉහළ යාමට සෘජුවම බලපානු ඇත.














