වත්මන් රජයේ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ක්‍රියාකලාපය හේතුවෙන් සමස්ත රටම ජාත්‍යන්තරය ඉදිරියේ අපහසුතාවයට පත්ව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ විදේශ අමාත්‍ය ධුරය එම විෂය පිළිබඳ මනා අවබෝධයක් ඇති අයෙකුට ලබා දිය යුතු බවයි.
ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට අපහසු නම් සිංහලෙන් හෝ කතා කර රටේ ගෞරවය ආරක්ෂා කළ යුතුව තිබූ බවත් විදේශ ඇමතිවරයාගේ හැසිරීම නිසා රට පහත් තැනකට ඇද වැටී ඇති බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරය රජය මෙතෙක් හෙළා නොදැකීම පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය. රජය ඇමෙරිකාවට සහ ඉන්දියාවට ගැති ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට ද ඔහු චෝදනා කළේය.
හොරකම් නැවැත්වීමට පැමිණි ආණ්ඩුව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) හරහා ගල් අඟුරු වංචාව යට ගැසීමට උත්සාහ කරන බවට ඔහු චෝදනා කළේය. දැනට ගෙන්වා ඇති සියලු ගල් අඟුරු බාල තත්ත්වයේ පවතින බවත් මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී විදුලි බිල වැඩි කිරීමට රජය සූදානම් වන බවත් ඔහු අනාවරණය කළේය. විපක්ෂයේ සිටියදී එකක් සහ ආණ්ඩු බලය ලැබුණු පසු තවෙකක් ලෙස ආණ්ඩුව පරස්පර විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් වැරැද්ද වැරැද්ද ලෙස පෙන්වා දීමට රජයට කොන්දක් නොමැති බවත් චමින්ද විජේසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














